Piliyandala Central College

Back to Blogs

පළමු සහ දෙවන පෙළ බාලදක්ෂිකා කඳවුර 2026 සාර්ථකව නිමාවට පත්වෙයි

Girl Guide Camp 2026 Banner

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ, පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමිය වන මහේෂිකා විජයරත්න මහත්මියගේ විශේෂ උපදෙස් හා ආශිර්වාදය මත, පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ නිල අවසරය ඇතිව සංවිධානය කරන ලද (දින 4 රාත්‍රී 3) ප්‍රථම සහ ද්විතීයික පෙළ බාලදක්ෂිකා කඳවුර මොරටුව MJF ආයතන පරිශ්‍රයේදී අතිසාර්ථක අන්දමින් පවත්වා නිම කරන ලදී. මෙම සුවිශේෂී කඳවුර 2026 ජූනි මස 19, 20, 21 සහ 22 යන දිනයන්හිදී ක්‍රියාත්මක විය.

සිවුදිනක් පුරා පැවති මෙම නේවාසික කඳවුර තුළ බාලදක්ෂිකාවන්ගේ ජීවන කුසලතා ඉස්මතු වන අයුරින් විවිධ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබුණි. ඒ අතර කඳවුරු සැකසීම හා සැලසුම් කිරීම, කඳවුරු පාගමන, විවිධ කඳවුරු ක්‍රියාකාරකම්, සමනලුන් හා මීමැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික අධ්‍යයනය සහ එම සතුන් සඳහා විශේෂ උද්‍යාන සැකසීම, Tresher Hunt (නිදන් සෙවීමේ ක්‍රීඩා) මෙන්ම විනෝදජනක සහ සහයෝගිතාව වර්ධනය කරන ක්‍රීඩා රැසක් ඇතුළත් විය.

"කඳවුර තුළින් බාලදක්ෂිකාවන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කරමින්, සැබෑ බාලදක්ෂිකාවක ලෙස ප්‍රායෝගික කඳවුරු අත්දැකීම් රාශියක් දරුවන්ට දායාද කිරීමට මෙම සාර්ථක වැඩසටහනට හැකිවිය."

මෙම කඳවුරේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූ අලංකාර ගිනිමැල රාත්‍රිය (Campfire Night) සඳහා පිළියන්දල කලාපයේ සහ කොළඹ කලාපයේ බාලදක්ෂිකා කොමසාරිස්තුමියන් ඇතුළු නායිකාවන් රැසක් සහභාගී වූහ. එමෙන්ම, බාලදක්ෂිකාවන් දිරිගැන්වීම වෙනුවෙන් විද්‍යාලයීය විදුහල්පති මහේෂිකා විජයරත්න මහත්මිය ද කඳවුරු පාගමන සඳහා සක්‍රීයව එක්වීම කැපී පෙනුණි.

මෙම මහා කඳවුරු කාර්යය සාර්ථක කර ගැනීම සඳහා බාලදක්ෂිකා සංගමයේ ප්‍රවීණ නායිකාවන් රැසක් සිය දායකත්වය සපයන ලදී. ඒ අනුව, බලපත්‍රලාභිනිය ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් කොමසාරිස්තුමිය වන දීපානි මීගොල්ල මහත්මිය සහ තාරකා මුණසිංහ මහත්මිය කටයුතු කළ අතර, කඳවුරු පාලිකාව ලෙස විද්‍යාලයීය බාලදක්ෂිකා නායිකා වින්දුලා පෙරේරා මහත්මිය මඟපෙන්වන ලදී. ආහාර පාලිකාව ලෙස නිරංගා මහත්මිය ද, උප පාලිකාව ලෙස විද්‍යාලයීය ආචාරිණී රේෂානි විසුද්ධිකා මෙනවිය ද, සහ හෙදිය ලෙස ශිරෝමි පෙරේරා මහත්මිය ද ඇතුළු නිලධාරී මණ්ඩලයක් කඳවුර පුරා අනුපමේය සේවාවක් ඉටු කළහ. මීට අමතරව සංගමය භාර ගුරුභවතුන් වන කමනී වර්ණකාන්ති, නිපුනි මධුරංගී, අරුණෝදා ප්‍රභාෂ්වරී, හර්ෂණි ප්‍රනාන්දු, චතුරි ශානිකා සහ දිලූෂා සෙව්වන්දි යන මහත්මීන්ගේ කැපවීම ද මෙහි සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් විය.